නිරෝධායන කාලසීමාව දින 7කට සීමා කළ බවට බංග්ලාදේශය කියන කතාව බොරුවක්

Report Print Egossip News Egossip News in Egossip News
1126Views
Egossip News

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේදී පවතින නිරෝධායන කාලසීමාව දින 7කට ප්‍රමාණවත් බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය දැන්වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එරට මාධ්‍යයට සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරයි.

නිරෝධායන කාල සීමා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගෙන් 'මව්බිම' කළ විමසීමකදී  ඔහු මේ බව පැවැසීය. 

“ඒ අය එහෙම කියලා තියෙනවා නම් ඒක වැරැදියි. එහෙම කියලා තියෙන්නේ කාටද කියලත් මම දන්නෙ නැහැ. නිරෝධායන කාල සීමාව දින 7කට සීමා කිරීම සම්බන්ධයෙන් අපි ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වුවේ නැහැ. කොහොම වුණත් සෞඛ්‍ය බලධාරීන් අපිට ලබා දී ඇති නීති රාමුවට පිටින් යන්න අපිට බැහැ. අනිවාර්යයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම දින 14 නිරෝධායනයකට යොමු විය යුතුයි” යැයි පැවැසූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති සමුදායක්ද පෙන්වා දුන්නේය. 

“ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරත් ඔවුන් බංග්ලාදේශයේදී නිරෝධායන කාල සීමාවකට යටත් වී පැමිණිය යුතුයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පසු අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය පරිදි ඔවුන් රැඳී සිටින හෝටල කාමර තුළ දින 14ක පූර්ණ නිරෝධායනය විය යුතුයි. එහි සියලුම වියදම් දරන්නේ ක්‍රිකට් ආයතනයයි” යනුවෙන්ද ශම්මි සිල්වා මහතා කීය.   

මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සාභාපති නස්මුල් හසන් ඊයේ පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී  ලංකාවේදී දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කරන ලෙස ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මඟින් තමන් වෙත සිදු කළ දැනුම් දීමට තමන්ට එකඟත්වය පළ කළ නොහැකි බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පැවැත්වූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල විධායක කමිටු රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බවද ඔහු පවසා තිබිණි. 

කෙසේ වෙතත් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයද තම නිල ‘ට්විටර්’ ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබිණි. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දී තිබුණේ මේ වන විට ලොව පුරා දැඩිව පැතිර යන කොවිඩ් වයිරස වසංගත තත්ත්වයෙන් වැළකීම වඩාත් වැදගත් කරුණ වන බවය. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායෙන් අවශ්‍ය උපදෙස් ලබා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සමඟින් අදාළ තරගාවලිය පිළිබඳ නැවත සමාලෝචනයක යෙදෙන ලෙස ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයට තමා දන්වා සිටි බවයි.

source :



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න