නිවේදිකාවක් කියන්නෙ රූපවාහිනියට කොටු වෙච්ච කෙනෙක් නෙමෙයි

Report Print Egossip News Egossip News in Egossip News
411Views
Egossip News

තිලේෂා මෙනන්, ස්වාධීන ඉසව් ඉදිරිපත් කරන්නියකි, නිවේදිකාවකි (Freelance Event Host). වේදිකාගත සිදුවීමක්, සමුළුවක්, කාර්ය සාධනයක් හෝ ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා උත්සවය මෙහෙයවීමේ ප්‍රධානියෙකු (Master of Ceremonies) ලෙස කටයුතු කරනා ඇය අත්දැකීම් සපිරි තාරුණ්‍ය නියෝජනය කරනා කාන්තා චරිතයකි. මයික්‍රෆෝනය තුළින් විදහාලන ඇගේ හඬින් ලෝකය වෙනස් සහ වෙනත් ලෙසින් අසන්නට, දකින්නට ප්‍රයත්න දරන්නියකි. ඒ අතරතුර තවත් සාහිත්‍ය - කලා අවකාශ තුළ සැරිසරන්නියකි; ඒ සමඟ ගැටෙන්නියකි. මේ තුරුණු ජවය සමඟegossipnewsවෙබ් අඩවිය සිදුකළ සංවාදයක සංක්ෂිප්තය මතු දැක්වෙයි.

මුලින්ම කියන්න අපිට හරියටම කවුද මේ තිලේෂා කියන්නෙ?

හරියටම කවුද කියන එක තවම මමත් ගවේෂණය කරන මට්ටමේ සිටින්නෙ. නමුත් මාගේ පසුබිම ගැන කතා කළහොත් KIU අන්තර්ජාතික සරසවියේ මානව සම්පත් කළමණාකරණය පිලිබඳ වූ ගෞරව උපාධිය හදාරන අවසන් වසරේ ශිෂ්‍යයාවක්. එමෙන්ම වෘත්තියන් තුළින් ගතහොත් මොඩර්න් ලර්නින් ස්ටූඩියෝ (Modern Learning Studio) ආයතනයේ Public Speaking පිලිබඳව උපදේශිකාවක්/ ගුරුවරියක් ලෙස සේවය කර මේ වන විට පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ රැකියාවක නියැලෙන අතරම කලාවත් සමඟ සැරිසරමින් ඒ හා ගැටෙන්නියක්.

ඔබ කලාව සමඟ ගැටෙන්නේ කුමන ආකාරයෙන්ද?

දැනට අවුරුදු පහක පමණ කාලයක සිට ස්වාධීන ඉසව් නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයේ  කටයුතු කරනවා. ඒ අතරතුර තෝරාගත් ලෙස නිරූපණ හා නාට්‍ය හා රංගකලා කටයුතු වලත් නියැලෙනවා.

ඔබ නිවේදන සම්ප්‍රදායේ නවමු ආරක ගමන් ගන්නා කෙනෙක්. ඔබ දකින විදිහට නිවේදිකාවක් සහ ස්වාධීන ඉසව් නිවේදිකාවක් අතර තියෙන වෙනස මොකද්ද?

නිවේදිකාවක් කිව්ව පමණින්ම අපේ ඔලුවෙ මැවෙන චිත්‍රය තමයි රූපවාහීනී තිරයක් ඉදිරියේ වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගල රූපයක්. නමුත් නිවේදනය කියන්නෙ රූපවාහිනියට සීමා වූ කලාවක් නොව, එය ඉතා පුළුල් වපසරියකින් යුත් කලාවක් බව අප විසින් අවබෝධ කර ගත යුතුයි. සාමාන්‍යයෙන්, උත්සවයක ප්‍රවීණයන්, කථිකයින් හඳුන්වා දීම, නිවේදන නිකුත් කිරීම සහ උත්සව න්‍යාය පත්‍රය හැකි තරම් සුමටව පවත්වා ගෙන යාම සඳහා ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වීම වැනි සෑම විටම සජීවී මොහොතවල් සමඟ ගෙවන චරිතයක් තමයි සරලවම ඉසව් නිවේදිකාවක් කියන්නෙ. රූපවාහිනී නිවේදක/ නිවේදිකාවන්ද, ඉසව් නිවේදක/ නිවේදිකාවන් ලෙස කටයුතු කරනවා අපිට ඕන තරම් දැකගැනීමට පුලුවන්. නමුත්, ඉසව් නිවේදනය/ ඉදිරිපත් කිරීම ලෙස වෙනමම ගොඩනැඟුනු වෘත්තියක්, ක්ෂේත්‍රයක් ඇති බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ඉසව් නිවේදනය කියන්නෙ වෙනම ඉන්ඩස්ට්‍රි එකක්. ඔවුන් විවාහ මංගල්‍යය වලට පවා ඉසව් නිවේදිකාවන් යොදා ගන්නවා. නමුත් ලංකාව තුළ එය වෘත්තිය කරගත් පිරිස ඉන්නෙ බොහොම අතලොස්සක්. ඒකට හේතුව තමයි ලංකාව තුළ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකට තවමත් ලොකු තැනක් වෙන්වී නොමැතිකම. 

ඔබට අනුව ඉසව් නිවේදිකාවකගේ කාර්යභාරය කුමක්ද? ඉසව්වක සාර්ථකත්වය සඳහා ඇයගේ දායකත්වය කුමක්ද?

ඕනෑම ඉවෙන්ට් එකකදී එහි නිවේදිකාවට හෝ නිවේදකයාට ඉතා විශාල කාර්යභාරයක් තිබෙනවා. සරලවම කිව්වොත්, ඉවෙන්ට් එකක් ඇදගෙන යන්න පුලුවනුත් නිවේදිකාවට. ඒක විනාස කරන්න පුලුවනුත් නිවේදිකාවකට. ඉසව් නිවේදිකාවක් උත්සවයේ ප්‍රධානියා (Master of Ceremonies) ලෙස හැඳින්වීමට හේතුවක් තිබෙනවා. උත්සව අවස්ථාවේදී ප්‍රේක්ෂකයින්ගේ සිට කථිකයින්, සංවිධායකයින් දක්වා සියලු දෙනා එක්කර ගැනීමෙන් සමස්ත ඉසව්වම සුමටව පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ ඇයට. ප්‍රේක්ෂක අවධානය මුලු ඉසව්ව පුරාම එකලෙස රඳවා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. සාමාන්‍ය මිනිසෙකුගේ අවධානය පරතරය සාමාන්‍යයෙන් විනාඩියකට උපරිම වෙන්නෙ නෑ, ඒ නිසා නිර්මාණශීලිත්වය, රාමුවෙන් බැහැරව සිතීම, මනසෙහි තියුණු පැවැත්ම, ශක්තිමත් සන්නිවේදන කුසලතා, ඉදිරිපත් කිරීමේ කුසලතා, විශ්වාසදායී ශරීර භාෂාව, හාස්‍යය උත්පාදනය වැනි ප්‍රේක්ෂකයන්ව ඉසව්ව පුරාවටම රඳවා ගැනීමට අවශ්‍ය, ඔවුන්ට මනා හැඟීමක්, අදහසක් ජනිත කරවීමට අවශ්‍ය මේ සියලු සාධක උත්පාදනය කිරීම සඳහා දක්ෂතාවය තිබීම අතිශයින්ම අවශ්‍ය වෙනවා වගේම මේ සියලු සාධකයන්හි වගකීම රඳා පවතින්නේ තනිකරම ඉසව් නිවේදක/ නිවේදිකාවගේ උරහිස් මත කිව්වොත් මං හිතන්නෙ මං වඩාත් නිවැරදියි.

 ඔබට මුලින්ම මේ ක්ෂේත්‍රය ගැන ඇල්මක් ඇති වුණේ කොයි කාලෙ, කොහොමද?

නොදැනුවත්ව හැකියාවක් තිබ්බා සිදුවීමක් රූපමය වශයෙන්, කට හඬවල් අනුකරණය කරමින් හෝ මටම ආවේණික ලෙස විස්තර කරන්න. ඉතින් බොහෝ වෙලාවට අනිත් අයගෙ කතා තවත් පිරිසකට කියන්න භාර වෙන්නෙත් මට. කට්ටිය වටකරගෙන කතා කිව්වා. එතැනින් එහාට මම පෙලඹෙනවා මට හිතෙන දේවල්, මගේ ජීවිතේ සිදුවීම් දිනපොතක ලියන්න, ලියා අවසන කතාවක් විදිහට ඒ දේවල් විවිධ වූ හඬ උපයෝගී කරගනිමින් කියන්න. ඒ ලියන කතාවල ශානරයත් බොහෝවිට මටම ආවේණික හඬකින්, හැඩයකින් යුක්ත වුණා. ඉතිං පසුකාලීනව මට ඇත්තෙන්ම අවශ්‍ය වුනේ මා වටා සිටින මානව සම්බන්ධතා ජාලයක් හොඳින් ස්ථාපිත කරගන්න. ඔවුන් ඉදිරියේ කතා කරන්න. එය රූපවාහිනී මාධ්‍යයෙන් හෝ වේවා සජීවී ප්‍රේක්ෂක පිරිසක් සමඟ හෝ වේවා සන්නිවේදනය කියන දේ මගේ බලකොටුව විය යුතු බව මම දැනගෙන හිටියා.

උසස් පෙළ අවසන් වූ සැනින් මම මානව සම්පත් කළමණාකරණ පිලිබඳ වූ විධායක ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම සඳහා JMC ආයතනය සමඟ සම්බන්ධ වෙනවා. එහිදී මට මුණගැසෙනවා මගේ දක්ෂතාවය හරියටම හඳුනාගෙන මා යායුතු මාවත වෙනස් කරපු, මාව අභිප්‍රේරණය කරපු හරි අපූරු ගුරුවරයා. ඔහු නමින් හේමන්ත පීරිස්. පාසලේදිවත් හරිහැටි අවස්ථාවක් නොලැබුනු මට, මගේ ඉදිරිපත් කිරීමේ කුසලතාවයන් පළමුවෙන්ම හඳුනාගෙන මාව ඒ ක්ෂේත්‍රය සඳහා යොමු කරන්න උත්සුක වෙන්නෙ ඔහු. ඩිප්ලෝමාවේ අවසන් විභාගය උදෙසා භාර දීමට තිබූ සමීක්ෂණ ව්‍යාපෘතියේ ඉදිරිපත් කිරීමට (Presentation) අදාලව වැඩිම ලකුණුත් ලබා ගනිමින් 2016 වසරේ ඩිප්ලෝමාධාරීන් අතුරින් ප්‍රථම ස්ථානයට පත් වීමට තරම් මා වාසනාවන්ත වෙනවා. පසුව තරඟ සඳහා සම්බන්ධ වී ජයග්‍රහණ ලබා ගන්නවා. ඉන් අනතුරුව තමයි මට ඉසව් නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රබල මෙන්ම සැලකිය යුතු මට්ටමේ පුද්ගලයන් සහ ආයතන සමඟ සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නෙ.

ඉසව් නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම තරුණ ගැහැණු ළමයෙකුට අභියෝගයක් ලෙස ඔබ දකිනවාද?

ඔව් අනිවාර්යෙන්ම. ස්වාධීන ඉසව් නිවේදිකාවක් ලෙස ගොඩනැඟෙන එක බාහිර ලෝකය දකින තරම් සුන්දර සහ සුමට නැහැ. බ්‍රෑන්ඩ් එකක් ලෙස ක්ෂේත්‍රය තුළ තමන්ව ස්ථාවර කර ගන්නනම් ලොකු කැපකිරීමක් කළ යුතුව තිබෙනවා. අපිට සිදු වෙනවා අදාල ඉසව්ව අනුව ගොඩක් තැන් වල ට්‍රැවල් කරන්න, දැනුම එකතු කරගන්න, ඒ සඳහා සූදානම් වෙන්න, නව තාක්ෂණය, ප්‍රවණතා එක්ක හැමවිටම යාවත්කාලීන වෙන්න, කටහඬ නියමාකාරයෙන් පවත්වාගෙන යන්න, විලාසිතා සහ රූපය ගැන සැලකිලිමත් වෙන්න. මේ හැමදේම එක ඇප්ලිකේශන් එකක්. ඒක ඉන්ස්ටෝල් කරගන්නෙ නැතුව අපිට අවශ්‍ය කරන මහජන සම්බන්ධතා ජාලය ගොඩනඟා ගන්න බැහැ.

මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්න හැදැරීමක් අවශ්‍යද?

මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයකට හැදෑරීම සහ පුහුණුව කියන්නෙ අත්‍යාවශ්‍ය සාධකයක්. පෞද්ගලිකව මම ජනමාධ්‍ය කළමනාකරණය පිලිබඳ වූ මගේ අධ්‍යනය කටයුතු මේ වන විට අවසන් කරලා සිටියත් එතනින් අදහස් වෙන්නෙ නෑ "දැන් ඇති, මම ඔක්කොම දන්නවා කියලා". අපි ජීවත් වෙන්නෙ ගතික පරිසරයක. ඒ වෙනස්වීම් වලට සාර්ථකව මුහුණ දෙන්නනම් නිරන්තර හැදෑරීම සහ පුහුණුව කියන්නෙ අනිවාර්ය මන්ත්‍රයක්. පුලුවන් හැම වෙලේම ජප කරන්න. උඩින් අහු වෙන දේ අත පත ගාන, මතයක් ඉවසන්න බැරි පිරිසක් අපි අතරෙම ඉන්නවා. තමන් තුළ හැදෑරීමකින්, ඉවසීමකින් තොරව කෙටි මාර්ගයකින් අහසේ තරු අල්ලන්න හදන, කොත්තු ගහනවා තරම් වේගයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඔවුන් ගැන මට පැහැදිලි නිර්වචනයක් නැහැ.

ඔබේ පරම්පරාව සහ මේ ක්ෂේත්‍රය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද?

සියල්ල වාණිජකරණයට ලක් වෙලා තියෙන්නෙ. බොහෝ නිර්මාණකරුවන් පෙලඹෙන්නෙ බහුතරය මෙතෙක් කල් පුරුදු වෙලා ඉන්න දේම යලි යලිත් කරන්න. ඒ නිසාමයි මං කලිනුත් සඳහන් කලේ තවමත් ලංකාව තුළ මේ ක්ෂේත්‍රයට ලොකු ඉඩක් වෙන් වෙලා නෑ කියලා. මිනිස්සු කැමතියි නව ආරකට යන්න. නමුත්, ලැබෙන ප්‍රතිලාභ ගැන තියෙන සැකය නිසා නිර්මාණකරුවන් බයයි නව ආරක් අත්හදාබැලීමේ රිස්ක් එක ගන්න. ඔන්න ඔහේ ඕකම කරමු කියලා නිර්මාණකරුවන් විසින් ප්‍රේක්ෂකයාව ලිං මැඬියන් ගාණට පත් කරලා තියෙන්නෙ. සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර අංශක 180 වගේ රාමුවකට කොටු වෙලා ඉන්න තාක් වෙනසක් දකින්න අපිට බැරි වෙයි.

මයික්‍රොෆෝනයෙන් විවර වෙන ලෝකය ගැන ඔබ තෘප්තිමත්ද?

මේ ලෝකයේ තෘප්තිමත් දේවල් හොයන්න අමාරුයි. කොයි මොහොතේ අපි මොන දේ නිසා තෘප්තිමත් වුණත් ඊලඟ මොහොතේ අපි තව දෙයක් වෙනුවෙන් බැඳෙන්න පටන්ගන්නවා. ඒක මිනිස් ස්වභාවය. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනෙ අපි කරන දේ සම්බන්ධව ඒ මොහොතට අවංක වෙන්න සහ ඒ තුළින් තෘප්තිමත් වෙන්න. අතෘප්තිමත්ව කරන කිසිම දෙයක් ඇතුළේ සාර්ථක ප්‍රතිඵලයක් දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මම කරන දේ සම්බන්ධව ඉතාමත් තෘප්තිමත්.

ඉදිරියට වෙන්න නියමිත මොනවාද?

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන 'ස්නැප්' ටෙලිනාට්‍ය වෙනුවෙන් කාල කලමනාකරණය අනුව කොටසකට රංගන දායකත්වය ලබා දුන්නා. තවත් එක් ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා. ඊට අමතරව මෙතෙක් අත පත නොගෑවුණ කොටස් ටික සොයාගැනීම සඳහා හෙමින්සීරුවේ කාලය වෙන්කරමින් අන්තර්ජාතික වශයෙන් සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වීමේ අදහසක්ද පවතිනවා. කාලය වෙන් කර ගැනීමට ඇති පහසුව අනුව ඒ දේවල් ඉදිරියට තීරණය වෙයි. අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕනෙ. බොහෝ අය වර්තමානය වන විට Public Speaking ගැන අති විශාල උනන්දුවක් දක්වනවා. මම කැමතියි ඔවුන්ට උදව් කරන්න. මේ මොහොතේ මම දන්න ප්‍රමාණය ඉතාම සීමිතයි. නමුත් ඒ සීමිත ප්‍රමාණයෙන් මම සූදානම් අවශ්‍ය කෙනෙකුට ඕනම වෙලාවක උදව් කරන්න. මගේ නිල ෆේස්බුක් පිටුව ඒ සඳහා ඔවුන්ට විවෘතයි. 

ඔබ වටා සිටින, මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ඇල්මක් ඇති පිරිසට ඔබ දෙන පණිවුඩය?

කුඩාම ජයග්‍රහණයන් භුක්ති විඳින්න, නමුත් එයින් ඔබව සෑහීමට පත් කිරීමට කිසි විටෙකත් ඉඩ දෙන්න දෙන්න එපා. සිහින සැබෑ කර ගැනීමට ඇති ආශාවේ දැල්ල සෑම විටම දැල්විය යුතුය. අපි කිසිම කෙනෙක්ට සදාකාලිකව බෑ කියලා දෙයක් නෑ. තියෙන්නෙ මේ මොහොතේ බෑ කියලා දෙයක් විතරයි. එක්ස්පීරියන්ස් තමයි වඩා වැදගත්. තරු පොඩි නෑ, පේන හැටි! ඔයාට බැරි නෑ, ඔයා හිතන හැටි! සරලයි.

 

 

source : egossip News



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න